ස්වර්ණමාලී මහ චෛත්‍ය රාජයාණන් වහන්සේ මත පළදවන ලද කොත් වහන්සේ මූලික කර ගනිමින් සමාජ ජාලා ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක ස්වර්ණමාලී චෛත්‍යාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින්.
2019 නොවැම්බර් මස 25වන දින රුවන්වැලි මහ සෑයට පළදවන ලද කොත්වහන්සේ මූලික කරගනිමින් මහ ජනතාවගේ මනස තුළ රාජ්‍ය විරෝධී සහ මහ සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ද්වේෂ සහගත, ප්‍රකෝපකාරී හැගීම් හා ඉතා සාවද්‍ය මත සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කෙරෙන බවයි පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් එම ලිපියේ දක්වා ඇත්තේ.
ස්වර්ණමාලී මහ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ශ්‍රී විභූතිය, ගෞරවාන්විත බව සහ තේජසට හානිවන සහ අගෞරව වන ආකාරයෙන් පල කරන වීඩියෝ පට, හඬ පට සහ සටහන් මඟින් බහුතරයක් වූ ශ්‍රී ලංකීය බෞද්ධයන්ගේ සිත් තුළ ආගමික හැගීම් ප්‍රකෝපකාරී ලෙස අවුස්සන සුළු මාර්ගයකට යොමු වී අවසානයේ මහා විනාශයකට අවතීර්ණ වන බව සිය හැගීම යැයි උන් වහන්සේ එම ලිපියේ සදහන් කර තිබෙනවා.
එමෙන්ම 2019 නොවැම්බර් මස 25වන දින රුවැන්වැලි මහ සෑයට නව චූඩා මානික්‍යය හා රන් පාදම පැළඳ වූයේ බැතිමතුන්ට මනාව දර්ශනය වන ආකාරයෙන් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමෙන් පසුවයි. කොළඹ 01, යෝර්ක් වීදියේ පිහිටි විශ්ව පාරමී පදනමේ අනුග්‍රහයෙන් එය සිදුකෙරුණු බවද පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පෙන්වා දෙනවා.
කෙසේවෙතත් ටෘත් විත් චමුදිත සමාජ ජාලා නාලිකාව හරහා සාකච්ඡාවකට එක් වෙමින් අනුජ ජයසිංහ නැමැත්තා ප්‍රකාශ කර ඇත්තේ රුපියල් කෝටි 15,000ක් පමණ වටිනා රුවන්වැලි සෑයේ පැරණි චූඩා මානික්‍යයේ පැවති මැණික් සොරකම් කර ඇති බවයි. එමෙන්ම මහ සෑයට පළදවා ඇත්තේ චූඩා මානික්‍යයක් නොව වීදුරු ගලක් බවටද ඔහු චෝදනා කර තිබෙනවා.
ජ්‍යොතීර්වේදියෙකු සහ විශ්ව ශක්තිය, දෙවියන්ගේ සබදතා සහ ගුප්ත බලයක් ඇතැයි පවසන ජයලත් නැමැත්තෙක්ද සමාජ මාධ්‍ය නාලිකාවකට එවැනි ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. එම සියළු ප්‍රකාශ සහ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පොලිස්පතිවරයාට නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ.
රුවන්වැලි මහ සෑයේ නව චූඩා මානික්‍යය තැන්පත් කිරීම සදහා විශ්ව පාරමී පදනම තෝරා ගත්තේ ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ වටා ඇති ආරක්ෂිත වැට, වජ්‍රාසනය, මල් ආසන සහ සෙසු පූජනීය උපාංග රනින් ආලේප කිරීමේ අති භාර ධූර කාර්යය සාර්ථකව නිම කර පූජා කිරීමට එම ආයතනය කටයුතු කිරීම හේතුවෙන් බවද උන් වහන්සේ පෙන්වා දෙනවා.
එබැවින් සමස්ථ සමාජයම නොමග යවන මෙවැනි ක්‍රියාකරකම් අත්හිටුවා අනූජ ජයසිංහ සහ ජයලත් නැමැති පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පොලිස්පතිවරයාට යොමු කල දීර්ඝ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Neth