Saturday, December 27, 2025
Follow Us
දින 33ක් මුහුදේ නැංගුරම්ලා තිබු බොරතෙල් නෞකාව ගොඩබෑම අද අරඹයි

මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ, මාසයයි දින දෙකක කාලයක් මෙම නෞකාව මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබීමෙන් පසුවයි.

බොරතෙල් රැගත් මෙම නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණ තිබුණේ ඉකුත් අප්‍රේල් 25 වනදායි. ඉකුත් මැයි මස 02 වනදා වන විට එහි ගොඩබෑම් කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණා. එය සිදු නොවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් දිගින් දිගටම විමසීම් කළ අතර අදාළ බලධාරීන් පැවසුවේ ඩොලර් ප්‍රශ්ණය හේතුවෙන් ගෙවීම් නතරවී ඇති බවයි.

කෙසේවෙතත් මේ වන විට ඒ සඳහා ගෙවීම් සිදු කිරීමට පියවර ගත් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පැවසුවේ බෙර තෙල් ගොඩබෑමත් සමග සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ හැකි බවයි. ඒ අනුව දින 6 කින් ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කළ හැකි බව ද ඔහු පවසනවා. සපුගස්කන්ද පිරිපහදුව මෙලෙස යළි සක්‍රීය වන්නේ මාර්තු 20 වැනිදායින් පසුවයි.

Neth