Saturday, December 27, 2025
Follow Us
වාහනවල ඉන්ධන ලබා ගැනීමේ තොරතුරු එසැණින් යාවත්කාලීන කිරිමට නව යෙදුමක් සුදානම් කරයි

ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හල් වෙත පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීමට සහ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් සමඟ එම දත්ත එසැණින් හුවමාරු කර ගැනීමට හැකියාව ඇති යෙදුමක් (App) මේ වන විට දිවයිනේ ස්ථාන කිහිපයකදී පරීක්ෂාවට ලක් කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

මෙම යෙදුම ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරනු ලැබූවක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගන්නා පාරිභෝගිකයින්ගේ වාහනයේ අංක තහඩුව අදාළ යෙදුමට ඇතුළත් කරනු ලබන බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.

ඇතුළත් කළ දත්ත අනෙකුත් යෙදුම් භාවිතා කරන පිරවුම්හල් සමග සමඟ ‍එසැණින් හුවමාරු කරනු ලැබේ.

වාහනයේ අංක තහඩුව ඇතුළත් කළ පසු, එම වාහනය එකම දිනක වෙනත් ස්ථානයකින් ඉන්ධන ලබා ගැනීමක් සිදුකර ඇත්ද යන්න සහ වාහනයට ඉන්ධන ලබාගත් පෙර තොරතුරු ආදිය පිරවුම්හල් වෙත දැන ගත හැකි වන බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම යෙදුම සැකසීම වෙනුවෙන් පොලිස්පතිවරයාට සහ පොලිස් තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට සිය කෘතඥතාවය පුදකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Neth