Saturday, April 20, 2024
Follow Us
ලිට්‍රෝ මිල යළි වැඩිවෙන ලකුණු

ගෑස් සිලින්ඩරය රු.5000 ඉක්මවයි ?


ලිට්‍රෝ ගෑස් මිල ගණන් නැවතත් ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයකු පැවසීය.

වැඩි කිරීමට ඉල්ලා ඇති මිල ගණන් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් එම ඉල්ලීමට එකඟතාව ලැබුණහොත් කිලෝ ග්‍රෑම් දොළහයි දශම පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්දහස ඉක්මවන බවත් ඔහු සඳහන් කළේය.

දැනට කිලෝ ග්‍රෑම් දොළහයි දශම පහේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සඳහන් වන්නේ රුපියල් හාරදහස් අටසිය හැටක් ලෙසය.

එමෙන්ම මෙරටට ළගා වී ඇති ගෑස් මෙට්‍රික් ටොන් හත්දහසකින් සමන්විත ගෑස් නැව් දෙකක් සඳහා ඩොලර් මිලියන හතක් අද (23) දිනයේ දී ගෙවීම් සිදු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කළේය.

එම නැව් දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසු රටේ සති දෙකකට ප්‍රමාණවත් ගෑස් තොගයක් පවතින බව ද සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට ලිට්‍රෝ ගෑස් සමාගම සතුව දින 6 කට ප්‍රමාණවත් ගෑස් තොග ඇති බව පැවසූ සභාපතිවරයා එළඹෙන සතිය වන විට පවතින ගෑස් අර්බුදය අවසන් කළ හැකි බව ද පැවසීය. එමෙන්ම තමන් පදිංචි ප්‍රදේශයට ගෑස් සැපයෙන දින සහ ගෑස් සිලින්ඩර ප්‍රමාණයන් සම්බන්ධයෙන් litrogas.com යන එම සමාගමේ වෙබ් පිටුවෙන් මහජනතාවට තොරතුරු ලබා ගත හැකි බව ද හෙතෙම කීවේය.

අදාළ දිනට ගෑස් සැපයෙන ප්‍රදේශ පිළිබඳ එහි තොරතුරු ඇතුළත් වන අතර එය දිනෙන් දින යාවත්කාලීන කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

(Aruna)