Thursday, March 28, 2024
Follow Us
ගෑස් අර්බුදය තවත් මාසයකට අධික කාලයක් පවතින ලකුණු

පවතින ගෑස් අර්බුදය විසදීමට තවත් මාසයකට අධික කාලයක් ගතවනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි සභාපති විජිත හේරත් නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ වනවිට රට තුළ විශාල ගෑස් අවශ්‍යතාවක් පවතින බවයි. ලක්‍ෂ 35කට අධික හිස් ගෑස් සිලින්ඩර් සංඛ්‍යාවක් මේ වනවිට රට තුළ පවතින බව ද ඔහු කියාසිටියා.

ගෑස් බෙදා හැරීම මේ වනවිට සිදුවන බැවින් අනවශ්‍ය ලෙස පෝලිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ගෑස් ලබාගැනීමට යාමට පෙර තම වෙළද නියෝජිතයාගෙන් ඒ පිළිබද විමසා කටයුතු කරන ලෙසටද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ජනතාවට දන්වා සිටියා.

මීට පෙර ගෑස් මිලදී ගත් සමාගමට වඩා අඩු මිලට ගෑස් ලබාගැනීමට ශ්‍රී ලංකාව තායිලන්තයේ සමාගමක් සමග ගිවිසුමකට එළඹීමට තීරණය කර තිබෙනවා. රට තුළ ගෑස් අර්බුදයක් පවතින මෙවන් වටපිටාවක එම සමාගමෙන් කඩිනමින් ගෑස් ආනයනය කළ නොහැකි දැයි නෙත් නිවුස් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළා. ඔහු කියාසිටියේ තායිලන්ත ගෑස් ලැබීමටද තවත් සති කිහිපයක් ගතවනු ඇති බවයි.

ගෑස් ඉල්ලා ඊයේ දිනයේද රට පුරා විරෝධතා පැවැත්වුණා. ජනතාවට ඊයේ දිනයේද ගෑස් ලබාගැනීම සදහා පෝලිම්වල රැදි සිටීමටයි සිදු වුණේ. සාමාන්‍යයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000 ක් පමණ වෙළදපොලට නිකුත් කිරීම සිදුවනවා.

එහෙත් පෙරේදා දිනයේ ගෑස් සිලින්ඩර් 35,000 ක් හා ඊයේ දිනයේ ගෑස් සිලින්ඩර් 50,000 ක් පමණක් බෙදාහැරීමටයි කටයුතු කර තිබුණේ. තවත් මෙට්ට්‍රික් ටොන් 2,800 ක ගෑස් රැගත් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර එහි ගෑස් බෙදාහැරීම අද ආරම්භ කිරීමට නියමිතයි.


(Neth)