Friday, December 26, 2025
Follow Us
අර්බුද මැද ජනප්‍රිය පාසැල්වලට ළමුන් ඇතුලත් කිරීමත් හොර පාරෙන්ම සිදුවෙයි

ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා තවදුරටත් ළමුන් ඇතුලත් කරන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේද කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලකට සිසුන් සිව් දෙනෙකු ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ. ඒ, 2, 3, 4 සහ 7 යන ශ්‍රේණි සඳහායි.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ළමුන් සිව් දෙනෙකු මෙලෙස එම පාසැලට ඇතුලත් කර තිබෙනවා. තවත් පාසැල් කිහිපයකටම ඉකුත් දින කිහිපයේදී අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ.

සාමාන්‍යයෙන් ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ලිපි නිකුත් කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයායි. ඉකුත්දා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය ද අහෝසි වුණා. ඒ අනුව එම අමාත්‍යශවල සිටි ලේකම්වරුන්ට ද සිය ධූර අහිමි වනවා. මෙතෙක් අධ්‍යාපන අමාත්‍යංශය සඳහා අමාත්‍යවරයෙක් හෝ අමාත්‍යංශ ලේකම්වරයෙක් පත්කර නැහැ.

එවන් පසුබිමක් තුළ හිටපු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, ඔහුගේ ධූරය අහිමිවීමට පෙර දින සටහන් කරමින් ලිපි මඟින් ජාතික පාසැල් සඳහා සිසුන් ඇතුලත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ. මෙවැනි ක්‍රියා නතර කිරීමට බලධාරීන් වහා මැදිහත්විය යුතු බවද ගුරු විදුහල්පතිවරුන් පෙන්වා දෙනවා.

(Neth)