Friday, December 26, 2025
Follow Us
ඖෂධ තොග සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් - රජයේ ඖෂධවේදීන්ගේ සංගමය

රට තුළ මේවනවිට ඖෂධ තොග සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ මේවනවිට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ ගණනාවක සහ දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බවයි.

එලෙස හිඟව පවතින ඖෂධ හා වෛද්‍ය උපකරණ දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද මේවනවිට ගැටළු රැසක් උද්ගතවී ඇති බැවින් ඉදිරියේදී රෝගීන්ට ජීවිත අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති බව ද රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න සඳහන් කළා.

අවශ්‍ය ඖෂධ තොග කඩිනමින් ගෙන්වා ගත යුතු බැවින් ඒ සඳහා පවතිව ගැටළු නිරාකරණය කර ගැනීම ද කඩිනම් කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

රට තුළ මේවනවිට අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධ තොග පවතින්නේ සියයට 50 ක පමණ ප්‍රමාණයක් බව ද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවා.

(Neth)