Friday, December 26, 2025
Follow Us
ජනතාව පෝලිම්වල රැය පහන් කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලීසියෙන් ඉන්ධන

සාමාන්‍ය ජනතාව දින ගණන් පෝලීම්වල රැදී සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අයත් නාරාහේන්පිට පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත නියෝග කර ඇත්තේ කථානායකවරයා කළ ලිඛිත ඉල්ලීමට අනුව නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත්පිට මුදලට ඉන්ධන ලබාදෙ ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සදහා නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හල වෙත ලබාදෙනු ලබනවා. මන්ත්‍රීවරුන්ගේ වාහනවලට ඉන්ධන ලබාගැනීමෙන් පසු ගෙවන මුදල ලබාගැනීමට ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නාරාහේන්පිට ඉන්ධන පිරවුම්හල වෙත යොමුකරන බවයි පොලිස්පතිවරයා එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

පවතින තත්ත්වය පහව යන තෙක් කෙටි කාලයක් සදහා එම මන්ත්‍රීවරුන්ගේ රථවාහනවලට අවශ්‍ය ඉන්ධන ලබාදිය යුතු වනවා. කෙසේවෙතත් ඉන්ධන ලබාදෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෞද්ගලිකව අදාළ රථයේ සිටිය යුතු බවද පොලිස්පතිවරයා සහායක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සදහන්. එවන් පසුබිමක් තුළ ජනතාවට ඉන්ධන ලබාගැනීම සදහා අද සහ හෙට පෝලිම්වල රැදී නොසිටින ලෙසට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එහෙත් අද පෙරවරුවේ මෙන්ම පස්වරුවේද ඉන්ධන නොමැති පිරවුම්හල් රැසක දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඇතැම් අය පෝලීම්වල රැදී සිටින්නේ දින දෙකක සිටයි. ඔවුන්ගෙන් ඇතැම් පිරිස් ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් ප්‍රදේශ රැසකදී මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත වුණා. මේ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්ද එම ප්‍රදේශ ආශ්‍රිතව පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවේ.

(Neth)