Sunday, May 05, 2024
Follow Us
රටට ඩොලර් බිලියන 200ක් අහිමිවෙයි - මන්නාරමේ තෙල් සහ ගෑස් සොයන්න වසර 6 ක් ගියත් වැඩපිලිවෙලක් නෑ

මන්නාරම් ද්‍රෝණියේ පවතින ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණ කර ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් මෙතෙක් සකස් කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන බැරල් බිලියන 5 ක් පමණ සහ ස්වභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 5ක් පමණ පවතින බව 2016 වර්ෂයේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූ දත්තවල සඳහන්. එය වසර 60 පමණ අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් බවද එහිදී හෙළිවී තිබෙනවා.

එසේම එය රටේ විදුලිබල සැපයුම කිලෝවොට් 1130 දක්වා වැඩිකිරීමට යොදාගත හැකි බවත් ස්වභාවික වායු නිපදවීම තුළින් වසර 25ක් තුළ රටට විවිධ අංශ වලින් ඩොලර් බිලියන 200 ක පමණ වාසියක් සැලසෙන බවත් එහිදී අනාවරණවූ බවයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවී ඇත්තේ.

එහෙත් මෙම බිම් කොටසේ ගවේෂණ කටයුතු සිදු කිරීම හෝ හදුනාගත් නිධි දෙකෙහි වායු වාණිජමය වශයෙන් නිපදවීම මගින් රටට විවිධ අංශ වලින් ලබාගතහැකිව තිබූ අදායම ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම පිළිබඳ කෝපා කමිටුවේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

එහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කර ඇත්තේ මේ සඳහා විශ්වාසනීය ආයෝජකයෙක් සොයාගැනීමට අපහසු වී ඇති බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංවර්ධන අධිකාරියේ සේවක පිරිසද ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් එහිදී පවසා ඇත්තේ.

(Neth)