Sunday, May 05, 2024
Follow Us
දුම්රිය හා ලංගමත් අඩාලයි - පෞද්ගලික බස් නවතී

හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සහ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වූ බව එම සංගම් ප්‍රකාශ කළා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

කෙසේවෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසුවේ අද දිනයේ සියලු ලංගම බස් රථ ධාවනය කරන බවයි.

කෙසේවෙතත් අද උදෑසන කාලයේ ලංගම බස් රථ ධාවනයේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර සේවකයින් හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට සහය දැක්වීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවන කටයුතු සිදුනොවන බවයි දුම්රිය වෘත්තීය සමිති සංධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ පැවසුවේ.

කෙසේවෙතත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ අද දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බවයි.

කෙසේවෙතත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අද අලුයම් කාලයේ දැකගත හැකි වූයේ දුම්රිය ධාවනයේ විශාල අඩුවක් ඇති බවයි.

මේ අතර රියදුරන් නොමැතිවීම හේතුවෙන් කොළඹ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් ඊයේ රාත්‍රියේ ද අවලංගුවී තිබෙනවා. මෙලෙස දුම්රිය අවලංගුවීමත් සමඟ රාත්‍රී දුම්රියන්ගෙන් සේවා ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටි පිරිස් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවූ බවයි වාර්තා වන්නේ. පසුව පොලීසියේ මැදිහත්වීමෙන් එය පාලනය කර ඇති බවටද වාර්තා වනවා.

(Neth)