සිය වර්ජනය හමුවේ අද සිට යළිත් පිරවුම්හල් ආශ්‍රිත දිගු පෝලිම් පැවතිය හැකි බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්‍ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් ඔවුන් ධාවනයෙන් ඉවත් වී සිටින්නේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිටයි.
එවන් පසුබිමක් තුළ බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සේවයට නොපැමිණෙන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන බවයි. අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළද වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් හිමිවී ඇති බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ඩී වී ශාන්ත සිල්වා පැවසුවේ.
මේ අතර ඉන්ධන බෙදාහැරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් බලශක්ති අමාත්‍යාංශය ඊයේ නිකුත් කළා. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය ගබඩාවලට අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමටයි බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ඉන්ධන ප්‍රවාහනය කිරීම සදහා නිකුත් කළ නව මාර්ගෝපදේශමාලාව පිළිබද අමාත්‍ය කාංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.
එහි දැක්වුණේ දුම්රිය මගින් දැනට සියයට 40ක පමණ ඉන්ධණ ප්‍රවාහන කටයුතු සිදු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගාස්තු සංශෝධනය සිදු කිරීම මගින් අදාළ ගබඩා සදහා අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මගින් විශාල ප්‍රවාහන වියදමක් අඩු කර හැනීමට එමගින් හැකි වන බවයි.
මෙතෙක් ලියාපදිංචි කිරීමට නොහැකිවූ නව රථ සඳහා ලංකා ඛණිජතෙල් තොග පර්යන්ත සමාගමේ ප්‍රවාහන මිල ගණන්වලට බලපත්‍ර ලබා දීම සහ බලපත්‍ර නිකුත් කරන කාලය අවම කිරීමට පැය 24 පුරා නිළධාරී මණ්ඩලයක් යොද වන බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්. ඒ අනුව අවශ්‍ය ක්‍රියාවලිය සිදු කිරීම මගින් සතියක් තුල නව බලපත්‍ර ලබා දෙන බවද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ දක්වා තිබුණා.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හිමි බවුසර් රථ වෙනුවෙන් වෙනම ඉන්ධන බෙදා දීමේ පර්යන්ත වෙන් කිරීම සහ ඔවුන්ට වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමුතාවය මත ගමන් වාර ලබාදීමට ද තීරණය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
(Neth)