Saturday, February 07, 2026
Follow Us
පෞද්ගලික ඉන්ධන ටැංකි හිමියන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වෙයි

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වුණා. ඒ, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින්.

එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ සිය ගැටළු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සිය සංගමය එම තීරණයට එළඹි බවයි.

මේ අතර ඉන්ධන ප්‍රවාහනය සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙස බලශක්ති හා විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දුන්නා.

සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන ලෙසයි අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

දුම්රිය, රජය සතු බවුසර්, ඉන්ධන පිරවුම්හල් වලට අයත් බවුසර් සහ වර්ජනයේ නොයෙදෙන පෞද්ගලික බවුසර් මගින් අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම ක්‍රියාත්මක කරන ලෙසට ද අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

(Neth)