Sunday, July 13, 2025
Follow Us
ඖෂධ මිලදී ගන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දහසකගේ සහාය

හිගවූ අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා සහය දැක්වීමට සති දෙකක් තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දහසකට අධික පිරිසක් එක්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙරට ඖෂධ හිගය අවසන්වීමට තවත් මාස 03 ක් පමණ ගතවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඊට අදාළ වැඩපිළිවෙල මේවනවිට ක්‍රියාත්මක කළද එය සපුරාලීමට මාස තුනක පමණ කාලයක් ගත වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. එතෙක් අත්‍යවශ්‍ය ඖෂධ විදෙස් ගත එම ශ්‍රී ලාංකික පිරිසේ දායකත්වයෙන් මෙරටට ගෙන්වීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ.

එම පිරිසට මුදල් එවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩොලර් ගිණුමක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි වෛද්‍ය අන්වර් හම්දානි සදහන් කළේ.

ජීවිත අවදානමට ලක්ව සිටින රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14 ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 182 ක හිගයක් මේ වනවිට පවතිනවා. කෙසේවෙතත් සාමාන්‍ය ඖෂධවල ද යම් හිගයක් පැවතුනද එය කළමණකාරණය කර ගැනීමට හැකියාවක් ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

(Neth)