Wednesday, October 23, 2024
Follow Us
ලෙඩ සුව කරන වැඩසටහනට එක්වූ දෙදෙනෙක් මරු දකිති. 18ක් රෝහලේ

ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වී සිට රෝගය උත්සන්න වීම හේතුවෙන් රෝගීන් දෙදෙනකු (02) ජීවිතක්ෂයට පත්ව තවත් රෝගීන් 18දෙනකු ප්‍රතිකාර සඳහා පෙරේදා (07) රාත්‍රී රෝහල් ගත කර තිබේ. හොරොව්පොතාන මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදි පෙරේදා (07) දහවල් 2.00ට පමණ ආරම්භ වී ඇති මෙම වැඩසටහන ඊයේ දහවල් දක්වා පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබිණ. මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නොයෙක් රෝගා බාධවලට ලක්වු රෝගීන් විසි දහසකට (20000) අධික පිරිසක් සහභාගිවී සිටියහ. මෙලෙස සිය රෝගය සුව කර ගැනීම සඳහා රැගෙනවිත් සිටි රෝගීන් අතරින් කාන්තාවක් හා පුද්ගලයෙක් ඔවුන්ට වැළඳී තිබු රෝගය උත්සන්න වී පෙරේදා (07) රාත්‍රි මිය ගොස් තිබේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ආබ්‍රපුර, මහවස්කඩුව, කළුතර ලිපිනයේ පදිංචිව සිටි පී. දිනූෂා ද සිල්වා (39) නැමති කාන්තාවක් හා දික්හේනවත්ත, ඌරල, වදුරඹ, ගාල්ල ලිපිනයේ පදිංචිව සිටි ඒ.එම් රණවක (78) නැමති අයයි. එහිදි සිය අසනීප තත්ත්වය වැඩිවූ තවත් 18ක් හොරොව්පතනා රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව ඉන්14 ක් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය රෝගීන් පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කිරීමට නියමිතව තිබිණ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ හොරොව්පතාන පොලිසිය විසින් සිදු කරයි.

අමිල ප්‍රභාත් වනසිංහ අනුරපුර අතිරේක

*******************************

පොලිස් මූලස්ථානයෙන් විශේෂ විමර්ශනයක්

ආධ්‍යත්මික බලයෙන් රෝග සුව කරන පුද්ගලයකු විසින් පැවැත්වූ වැඩසටහනකදී පුද්ගලයන් දෙදෙනකු මියයාම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

අනුරාධපුර හොරොව්පතාන මධ්‍ය මහා විද්‍යලයේ ක්‍රීඩාංගණයේදී පෙරේදා(07) පස්වරුවේ පැවැත්වුණු මෙම රෝග සුව කරන වැඩසටහන මෙහෙයවූ පුද්ගලයාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර මේ පිළිබඳ විමර්ශන සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

ජීවිතක්ෂයට පත් වූ දෙදෙනාගේ පශ්චාද් මරණ පරීක්ෂණ වාර්තාව ලද පසුව එම වාර්තාවට අනුව ඉදිරි නෛතික පියවර ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

(Dinamina)