Saturday, July 12, 2025
Follow Us
මුහුණු ආවරණ ගැන දුන් තීරණය වෙනස් කරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වන රෙගුලාසි ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම තීරණය “පෙරට ගත් අඩිය පසුපසට ගැනීමක්” බවයි.

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවුවද නව කොරෝනා ප්‍රභේද වර්තමානයේත් ලොව පුරා සංසරණය වෙමින් පවතින බැවින් එම ප්‍රභේද රට තුළ පැතිර යාමේ සුලු හෝ අවදානමක් පවතිනවා.

රට තුළ ඇති නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් රෝග ව්‍යාප්තිය වැලැක්වීමේ මූලිකම අවියක් වන මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව පැවසීමෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට මෙතෙක් ගත් පියවර බාල්දු කිරීමක් බවයි විශේඥ වෛද්‍යවරුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර විවෘත ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්්‍ය නොවන බවට ලිහිල් කිරීමක් සිදුකළද මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වන රෙගුලාසි සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙන්නේ ජනතාව ගැවසෙන ඕනෑම අවදානම් සහගත ස්ථානයකදී මුව ආවරණ පැළඳීම වැදගත් වන බවයි.

(Neth)