Saturday, July 12, 2025
Follow Us
අවුරුදු සමයට ලබන 19වනදා තෙක් පැය 24 පුරා බස්

අළුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අප්‍රේල් 19 වනදා දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාවට නංවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස.

ජාතික ගමනාගමන කොමිසම යටතේ ලියාපදිංචි, දුරගමන් සේවා සඳහා අනියුක්ත කර ඇති මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 04 කින් ඉන්ධන සපයන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මාකුඹුර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගම්බිම් බලා ජනතාව වෙනුවෙන් ද ජාතික ගමනාගමන කොමිසම හා ලංකා ගමනාගමන මණ්ඩලය හරහා විශේෂ ගමන්වාර ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි එම මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු නාලක දිසානායක පැවසුවේ.

මේ අතර ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නව දුම්රිය ගමන්වාර කිහිපයක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි කිහිපයක් එක් කිරීමට ද සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

අළුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.

(Neth)