කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධතාවයට එක්වී සිටින පිරිස් සදහා ජංගම වැසිකිලි පද්ධතියක් සවි කිරීමට දැරූ උත්සාහයේ දී නාගරික සංවර්ධන අධිකාරියෙන් ඊට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වනවා.
විරෝධතා පැවැත්වීම සදහා වෙන් කළ ස්ථානයට ආසන්න ප්‍රදේශයක ජංගම වැසිකිලි පද්ධති 06ක් සවි කිරීමට කටයුතු කර ඇත්තේ නීතිඥවරයෙකු ඇතුළු පිරිසක් විසින්. පළමුව පොලීසියේ අවසරය මත මෙම ජංගම වැසිකිලි පද්ධතිය අදාළ ස්ථානයේ සවි කර තිබෙනවා.
කෙසේ වුවත් පසුව එලෙස ජංගම වැසිකිලි සවිකිරීම සඳහා රජයේ අවසරය නොගත් බවට සඳහන් කරමින් එම ජංගම වැසිකිලි පහසුකම් කුලියට සපයනු ලබන පෞද්ගලික ආයතනයට නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අදාළ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට සඳහන් කරමින් ප්‍රසන්න නැමැති පුද්ගලයෙකු විසින්. ඒ පිළිබද එම ආයතනය විසින් අදාල ජංගම වැසිකිලි පහසුකම් ලබා ගැනීමට ඉල්ලුම් කළ නීතිඥවරයාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එම නීතිඥවරයාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ජනතාවගේ මුලික අවශ්‍යතාවයක් ඉටුකරලීම සඳහා එම ජංගම වැසිකිලි පහසුකම් ඇණවුම් කර දීමට තමන් සහ මිත්‍රයින් කටයුතු කළ බවයි. එම ස්ථානයේ එවැනි පහසුකමක් නොතිබීම ඊට හේතුව බවද එම නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කළා. එහි අතිරේක අධ්‍යක්ෂක ජනරාල් මහින්ද විතානරච්චි සඳහන් කර සිටියේ ජංගම වැසිකිලි පහසුකම් සැපයීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසරයක් ගැනීමට අවශ්‍ය නොවන බවයි.
මේ අතර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධතාවය සඳහා එක්වී සිටින පිරිස් තුන්වන දිනයටත් අඛණ්ඩව මේ වන විට ද රැඳී සිටිනවා. විරෝධතාවයේ යෙදී සිටින ජනතාව ඊයේ උදෑසන සිට ඇද හැලෙන වර්ෂාවද නොතකමින් එම ස්ථානයෙන් රැදී සිටියා. මේ, ඊට එක් වූ වෛද්‍යවරයෙක්.
(Neth)