ඩීසල් මෙට්‍රික් ටොන් 16000ක් ලංකා විදුලි බල මණ්ඩලයට
කොළඹ නගරයේ සියලු ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් ඊයේ (6දා) පස්වරුව වන විට අවසන් වීම නිසා රථවාහන හිමියෝ දැඩි අසීරුතාවකට පත්වූහ. පසුගිය ඉරිදා මෙරටට ගෙන්වූ ඩීසල් මෙට්‍රික් ටොන් 37500න් මෙට්‍රික් ටොන් 16000ක් ලංකා විදුලි බල මණ්ඩලයට ලබාදී තිබේ.
ඉතිරි මෙට්‍රික් ටොන් 21500ක් බෙදාහැර ඇත. මෙට්‍රික් ටොන් 37500ක ඩීසල් තොගයක් ඊයේ (6දා) දිනයේද ඉන්දීය ණය පහසුකම යටතේ ලැබුණු අතර එම ඉන්ධන අද (7දා) සිට බෙදාහැරීමට නියමිතය. ඉන්පසු ලබන 8 වැනිදා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් මෙරටට ළඟාවීමට නියමිතව ඇත. ඉන්දීය ණය පහසුකම යටතේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500ක්ද මෙරටට සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ළඟාවීමට නියමිතය. කෙසේ වෙතත් කොළොන්නාව තෙල් පිරිපහදුවේ ඉන්ධන සංචිතයේ ඩීසල් ලීටර 730044ක් මුතුරාජවෙල ඩීසල් ලීටර 120387ක් තිබුණි. සුපර් ඩීසල් ලීටර් 10683635ක්ද, භූමිතෙල් ලීටර් 1475131ද, පෙට්‍රල් 95 වර්ගයේ ලීටර් 3571443ක්ද, පෙට්‍රල් 92 වර්ගයේ ලීටර් 2432499ක්ද, කොළොන්නාව තෙල් පිරිපහදුවේ ඉන්ධන සංචිතයේ තිබුණි. ගුවන් යානා ඉන්ධන ලීටර් 23252080ක්ද තිබුණි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු ඉන්ධන ලැබීම පිළිබඳව මෙතෙක් කිසිදු සැලැස්මක් නොමැති බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
(Aruna)