Wednesday, July 09, 2025
Follow Us
ඉන්ධන සහ විදුලියට කඩිනමින් ඇමතිවරයෙක් ඉල්ලයි

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු කඩිනමින් පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම රජයට දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳ රජයට ලිඛිතව දැනුම්දී ඇති බවයි එම කොමිසම පැවසුවේ. විදුලිබල හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර අර්බුදකාරී තත්ත්වයක පවතින බැවින් වහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු පත්කළ යුතු බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.

මීට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි කටයුතු කළ අතර බලශක්ති අමාත්‍යවරයා ලෙස ගාමිණී ලොකුගේ කටයුතු කළ අතර පෙරේදා ඔවුන් සිය ධූරවලින් ඉල්ලා අස්වුණා. පසුව නව අමාත්‍ය ධූර කිහිපයක් තාවකාලිකව පත් කෙරුණද මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු අමාත්‍යවරයෙකු මේ දක්වා පත් කර නැහැ.

මේ අතර අද සිට ඉදිරි දින 04 සඳහා වන විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අද සිට අප්‍රේල් 08 වනදා දක්වා කොළඹ ප්‍රදේශයට හැර සෑම කළාපයකටම පැය 06 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනවා.

ඒ අනුව අද සහ හෙට දිනයන්හිදී A සිට F දක්වා කලාප සඳහා පෙරවරු අටේ සිට මධ්‍යහන 12 දක්වාත්, පස්වරු 05 සිට රාත්‍රී 7 යි 30 දක්වාත් විදුලිය කප්පාදු කෙරෙනවා. පස්වරු 1 සිට පස්වරු 5 දක්වා සහ රාත්‍රී 7 යි 30 සිට රාත්‍රී 10 දක්වා අද සහ හෙට විදුලිය කප්පාදු කෙරෙන්නේ G සිට L දක්වා කලාප සඳහායි.

එම කලාප සඳහා ලබන 07 වනදා සහ 08 වනදා පෙරවරු 8 සිට මධ්‍යහන 12 දක්වාත්, පස්වරු 5 හේ සිට රාත්‍රී 7 යි 30 දක්වාත් විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ.

ලබන 07 වනදා සහ 08 වනදා A සිට F දක්වා කලාප සඳහා පස්වරු 01 සිට පස්වරු 05 දක්වාද, රාත්‍රී 07 යි 30 සිට රාත්‍රී 10 දක්වාද විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

(Neth)