Wednesday, July 09, 2025
Follow Us
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රයෝගික පරීක්ෂණ ගැන නිවේදනයක්

ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් අදට නියමිත අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඉකුත් මාර්තු 29 වනදා ආරම්භ කරන ලද 2021 සාමාන්‍ය පෙළ විභාගය සහ 2021 උසස් පෙළ විභාගයට අදාළ නර්ථන හා සංගීත විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අද දින පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒ, දේශීය නර්ථනය, භරත නර්ථනය, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයි. අද දිනට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී විමට නියමිතව තිබූ අපේක්ෂකයින් පමණක් හෙට දිනයේ පරීක්ෂණ මණ්ඩල වෙත පැමිණ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා නැවත දිනයක් ලබාගන්නා ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ.

සඳුදා දින සිට නියමිත පරිදි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් එදින සිට ඉතිරි දිනයන්හිදී ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වේලාවන් ලැබී ඇති විභාග අපේක්ෂකයන් තමන්ට නියමිත දින නියමිත වේලාවට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල වෙත පැමිණෙන ලෙස ද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් ද කළා.

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය ද නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම පැවසුවේ එම විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි.

මේ අතර අප්‍රේල් 04 වනදා සිට 08 වනදා දක්වා, වාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් සිසුන් කැදවීම සදහා විදුහල්පතිවරුන්ට අවසර ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. මේ වන විට උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල පාසල්වල සියළුම ශ්‍රේණිවල වාර පරීක්ෂණ සහ ප්‍රාථමික ශ්‍රේණිවල ඉගැන්වීම් කටයුතු අවසන් කර තිබෙනවා.

සෙසු පළාත්වල ශ්‍රේණි කිහිපයක් සදහා පමණක් එළැඹෙන සතිය තුළ වාර පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. සිසුන්ගේ සහ මව්පියන්ගේ පහසුවත්, පවතින දීර්ඝ විදුලි කප්පාදුවත් හේතුවෙන් අප්‍රේල් 04 වනදා සිට අප්‍රේල් නිවාඩුව ලබා දෙන ලෙසත් මහජන උපයෝගිතා කෙමිසම කළ ඉල්ලීම සැළකිල්ලට ගෙන එම තීරණයට එළැඹි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා නිකුත් කළ නිවේදනයක සදහන්.

(Neth)