Wednesday, July 09, 2025
Follow Us
ජලාශ වල ජල මට්ටම තවත් පහළට

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේවනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජලවිදුලි උත්පාදනයට දැඩි බාධා එල්ලවී ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරනවා. දිවයිනටම බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සඳහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම මේ වනවිටත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 15.34 ක් දක්වා පහළ බැස ඇති අතර උපරිම වශයෙන් ජලමට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 19 ක් වනතෙක් පමණයි. එම ඉතිරිව ඇති ජල පරිමාවෙන් ජනනය කළහැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගා වොට් පැය 7.3ක් වන අතර එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවයෙන් සියයට 7.7 ක්.

මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.69 ක් දක්වා පහත බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 22.4 ක් වනතෙක් පමණයි. ඒ අනුව මාඋස්සාකැලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 77.7 ක් වන අතර එය සමස්ත ධාරිතාවයෙන් සියයට 27.4 ක් වනවා.

සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 25.20ක් දක්වා පහත බැස තිබෙනවා. එම ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 31 වනතෙක් පමණයි.

ඒ අනුව සමනල වැව ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 15.2 ක් බවත් එය සමස්ත ධාරිතාවයෙන් සියයට 11.4 ක් බවත් විදුලිබල අමාත්‍යංශය සඳහන් කළා.

එමෙන්ම විදුලිබල උත්පාදනය කිරීම සදහා මහවැලි සංකීර්ණයට අයත් ප්‍රධාන ජලාශවන කොත්මලේ සහ වික්ටෝරියා ජලාශවල ජලමට්ටමද මහත බැස තිබෙනවා. කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 24.97 ක් දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 38 ක් වන තෙක් පමණයි. ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 29 ක් වන අතර එය සමස්ත ධාරිතාවයෙන් සියයට 20.3 ක් වන බවයි විදුලිබල අමාත්‍යංශය පැවසුවේ.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මිටර් 27.49 ක් දක්වා පහත බැස තිබෙනවා. එම ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකල හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 68 ක් වන තෙක් පමණයි. ඒ අනුව වික්ටෝරියා ජලාශයේ පවතින ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගාවොට් පැය 133.3 ක් වන අතර එය සමස්ත ධාරිතාවයෙන් සියයට 30.1 ක් වනවා.

මහවැලි ජලාශ වලින් රටේ පානිය ජල අවශ්‍යතාවය සහ කෘෂිකාර්මික කටයුතුවලටද ප්‍රමුඛතාවයකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් ඉහත ජලාශ වලින් ජල විදුලි බලය ජනනය කිරීම සදහා ජලය මුදා හැරීමද සීමා සහිතව කළයුතුයි. එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන මෙන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද විදුලිබල අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

(Neth)