Wednesday, July 09, 2025
Follow Us
සපුගස්කන්ද පිරිහදුව විවෘත කිරීම මැයි දක්වා කල් යයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන මැයි මාසයේදී පමණ යළි විවෘත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. ඊට හේතුව වන්නේ එම පිරිපහදුව යළි විවෘත කිරීම සඳහා අවශ්‍ය මර්බන් කෲඩ් නමැති බොරතෙල් වර්ගය රැගත් නෞකාවක් මෙරටට ලගාවීම මැයි මාසයේදී පමණ සිදුවනු ඇති බැවින්.

මර්බන් කෲඩ් නමැති බොරතෙල් වර්ගය මිලදී ගැනීමට නම් මාස 02 කට පමණ පෙර ඇනවුම් කළ යුතු වනවා. ඒ අනුව මෙරටින් සිදු කර ඇති ඇනවුමක් අනුව මර්බන් කෲඩ් මෙට්ට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් මැයි මාසයේදී පමණ මෙරටට ලගා වනු ඇතැයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

අනෙකුත් බොරතෙල් වර්ග සහ පිරිපහදු කළ ඉන්ධන ආනයනය සඳහා ඇනවුම් ලබා දිය යුතු වන්නේ සති 03 ත් 04 ත් අතර කාලයකට පෙරයි. ඒ අනුව වෙනත් බොරතෙල් වර්ගයක් යොදා ගනිමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමේ හැකියාව පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.

එලෙස හැකිවුවහොත් තවත් සති 03 කින් එම පිරිපහදුව යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ද බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

මේ අතර ඩීසල් තොගයක් රැගත් තවත් නෞකාවක් ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ පවතිනවා. එම ඩීසල් තොගය මිලදී ගැනීම සඳහා ගෙවිය යුතු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 52 ක්.

(Neth)