Wednesday, July 09, 2025
Follow Us
පළිබෝධනාශක මිල 100%කින් ඉහළට

පළිබෝධනාශක ආනයනය කරන සමාගම් වලින් අනතුරු ඇඟවීමක්


යල කන්නයේදී පළිබෝධ නාශක වර්ගවල මිල සියයට සියයකින් පමණ ඉහළ යනු ඇතැයි පළිබෝධනාශක ආනයනය කරන සමාගම්වල නියෝජිතයෝ පවසයි.

රුපියලේ අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යෑමත්, ඩොලර් සොයාගැනීමට ඇති අපහසුතාවයත් හේතුවෙන් යල කන්නය වන විට පළිබෝධනාශක හිඟයක්ද ඇතිවනු ඇතැයි ඔවුහු සඳහන් කරති.

තවද යල කන්නය වන විට යූරියා පොහොර කිලෝග්‍රෑම් පනහේ ඇසුරුමක මිලද රුපියල් විසිපන්දහස ඉක්මවා යනු ඇතැයි එම සමාගම් අපේක්ෂා කරයි.

චීනයෙන් වැඩි වශයෙන් පොහොර ආනයනය කළද මේ වන විට චීනය ද අනෙකුත් රටවලට පොහොර අපනයනය සීමා කර ඇතැයි අනාවරණය වේ.

රසායනික පළිබෝධනාශක සහ පොහොර හිඟය හේතුවෙන් මෙවර මහ කන්නයේ සිදුවූ අස්වනු හානිය සියයට හතළිහත්, පනහත් අතර ප්‍රමාණයක් බවට ගණන් බලා ඇති අතර, ඉදිරි යල කන්නයේ අස්වනු හානිය ඊට වඩා වැඩිවනු ඇතැයිද සමාගම් නියෝජිතයෝ කියති.

යල කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ පහක පමණ වී වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

රසායනික පළිබෝධනාශක හිඟය හේතුවෙන් තහනම් කරන ලද පළිබෝධනාශක වර්ග පවා මේ දිනවල වෙළෙඳපොළේ අලෙවි කළද ඒවා වැටලීමක් සිදු නොවන බව පාරිභෝගිකයෝ පවසති.

(Aruna)