ගෑස් සිලින්ඩරයකින් රු.1500ක පමණ පාඩුවක්
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වන තුරු ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ(22) තීරණය කර ඇත.
ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුවක් ලබන බව මෙහි දී සාකච්ඡා වී තිබේ. එළැඹෙන සෙනසුරාදා (26) වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.
මෙම සතියේ ශ්‍රී ලංකාවට ළඟා වන ගෑස් මෙට්‍රික් ටොන් දස දහසකට අවශ්‍ය ඩොලර්ද ශ්‍රී ලංකා මහ බැංකුව ලිට්‍රෝ සමාගමට පෙරේදා (21) ලබා දී තිබේ. එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන දහයකට අධික වෙයි. ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 3500ක ගෑස් ගොඩ බෑම ඊයේ (22) ආරම්භ කරන ලදී. එළැඹෙන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කරන ලද තවත් ගෑස් නෞකා දෙකක් මෙරටට ළඟා වීමට නියමිතය.
ඒ අනුව ලිට්‍රෝ සමාගම මෙම සතියේදී දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ විසි දහසක් වෙළෙඳපොළට නිකුත් කරයි. සාමාන්‍යයෙන් දෛනිකව වෙළෙඳපොළට මෙතෙක් නිකුත් කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර අසූදහසක් පමණි.
(Aruna)