Tuesday, July 08, 2025
Follow Us
කොළඹ බැංකුවකින් කෝටි 15ක් උස්සලා

බැංකුවේ කළමනාකරු මූල්‍ය අපරාධකරුවෙක් සමග කළ අපරාධය


ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකුවක මූලස්ථාන ශාඛාවේ ජංගම ගිණුම් හිමියන් 76 දෙනකුගේ ගිණුම්වලින් රුපියල් කෝටි පහළොවකට අධික මුදලක් වංචා සහගත ලෙස ලබාගැනී‍මේ සිද්ධියක් අනාවරණය වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම බැංකු මූලස්ථාන ශාඛාවේ ප්‍රධානතම ගිණුම් හිමි ව්‍යාපාරිකයන් තිදෙනකුගේ මුදල් ද මෙලෙස වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවිය. වංචාව සම්බන්ධයෙන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කළමනාකරුවකු වන නීල් ක්‍රිස්ටෝපර් සොයිසා නමැත්තෙකු සහ සංවිධානාත්මක මූල්‍ය අපරාධකරුවකු වන තිලකරත්නම් රවිචන්ද්‍රන් හෙවත් ‘‘සෙල්ටෙල් රවි’’ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

ජංගම ගිණුම්වලින් ලබාගත් මුදල් තමන්ගෙ ගිණුම්වලට දමාගෙන ඇති සැකකරුවන් මාස හයක කාලයක් මෙලෙස මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරී‍මෙන් පසු මෙම 31 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සංවිධානාත්මක මූල්‍ය අපරාධකරුවකු වන සෙල්ටෙල් රවීගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මෙම මුදල් ලබාගැනීමට ප්‍රාදේශීය කළමනාකරු කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙම සැකකරුවන් සතුව ඇති උපයාගත් ආකාරය හෙළි නොකරන වත්කම් පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිරෝෂනි හේවාපතිරණ ප්‍රමුඛ නිලධාරීන් තවදුරටත් විමර්ශන සිදුකරයි.

(Aruna)