Wednesday, October 23, 2024
Follow Us
සජින් වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියම කර සිටියා.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍රය හිටපු මන්ත්‍රිවරයාට භාර දෙනු ලැබුවා.

එසේ අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසටද නියෝග කරනු ලැබුවා.

විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයක් තිබේනම් එය අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව නියෝගයක් කළ මහාධිකරණ විනිසුරුවරයා විදේශගත වීමට අවශ්‍ය නම් අධිකරනයෙන් අනුමැතිය ලබාගෙන එය කළ හැකි බව දන්වා සිටියා.

නඩුව නැවත ඔක්තෝබර් මස 01 වනදා කැඳවන බවයි මෙහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධනට"කොස්මෝස්" යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවද විමර්ශන වලදී හෙළිවී තිබේ.

මෙම ව්‍යාපාර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන විසින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධි චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

(Neth)