Sunday, February 22, 2026
Follow Us
මැදින් පොහොය අදයි

දිවයින පුරා විහාරස්ථානවල දාන, සීල හා භාවනා පිංකම් රැසක්


ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (17 වැනිදා)ට යෙදී ඇත.

සිදුහත් බෝසතාණන් බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව මහා සංඝරත්නය සමග සිය පියාණන් වූ සුද්ධෝදන රජතුමා ඇතුළු ශාඛ්‍ය වංශික ඥාතීන් දැකීමට රජගහ නුවර සිට කිඹුල්වත් පුරය බලා මුල්වරට ගියේ අද වැනි මැදින් පොහොය දිනයකය. සිය ඥාතීන්ගේ මානය බිඳීම සඳහා යමා මහ පෙළහර පෑම සහ ධර්මය අසා සුද්ධෝදන රජතුමා මාර්ග ඵල ලැබීම ආදිය කිඹුල්වත්පුරයේදී සිදුවිය.

ගිහිකල සිය බිරිඳ වූ යශෝධරා දේවියගේ දුක නිවීමට සඳකිඳුරු ජාතකය දේශනා කිරීම, සිය පුතු වූ රාහුල කුමරු හා සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමියගේ පුතු වූ නන්ද කුමරු පැවිදි කරනු ලැබුවේ ද මැදින් පොහොය දිනයේදීය.

මැදින් පොහොය නිමිත්තෙන් අද (17 වැනිදා) දිවයින පුරා බෞද්ධ ආගමික සිද්ධස්ථානවල දාන, සීල හා භාවනා පිංකම් රැසක් පැවැත්වීමට නියමිතය.

(Aruna)