Tuesday, July 08, 2025
Follow Us
එළවළු මිල පහත වැටේ

එළවළු විකුණ ගන්න බැරුව ගොවීන් අමාරුවේ


ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව පිට පළාත්වලින් පැමිණෙන ලොරි සංඛ්‍යාව විශාල ලෙස අඩුවීම හේතුවෙන් සිය එළවළු තොග විකුණාගත නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව නිසා පිට පළාත් වලින් ලොරි ආර්ථික මධ්‍යස්ථාන වලට නොපැමිණෙන බව එම මධ්‍යස්ථානවල නිලධාරීහු පවසති.

මේ හේතුවෙන් බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 ක් දක්වා ද කැරට් කිලෝවක තොග මිල රුපියල් 80 ක් දක්වා ද පහත වැටී තිබිණි.

එමෙන්ම ගෑස් අර්බුදය හේතුවෙන් හෝටල් වසා දැමීම නිසා ද එළවළු තොග විශාල වශයෙන් අඩුවී ඇතැයි මැනිං වෙළෙඳපොළ වෙළෙඳ හිමියන්ගේ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක පැවසුවේය.

මේ නිසා එළවළු මිල ගණන්ද විශාල ලෙස අඩුවී ඇති බවත් එළවළු තොග සවස් කාලයේ දී විකුණා ගැනීමට නොහැකිව ඉවත දැමීමට සිදුවී ඇති බවත් ඔහු කීවේය.

එමෙන්ම, ඩීසල් මිල ඉහළ යෑම හමුවේ ලොරි හිමියන් අසීමිත ලෙස කුලී ගාස්තු ඉහළ දැමීමෙන් ද එළවළු වෙළෙඳුන් අසීරුතාවට පත්ව තිබේ.

වැලිමඩ සිට කොළඹ මැනිං වෙළෙඳපොළට එළවළු කිලෝවක් සඳහා මීට පෙරදී රුපියල් පහක ප්‍රවාහන ගාස්තුවක් අය කරනු ලැබූ අතර ඉන්ධන මිල ගණන් ඉහළ යෑමෙන් පසුව එම ගාස්තුව රුපියල් නවයක් දක්වා ඉහළ දමා ඇතැයි ද කියා සිටිති.

 

(Neth)