Monday, July 07, 2025
Follow Us
ගෑස් මිල රුපියල් 850කින් වැඩි කිරීමට ඉල්ලයි

ලිට්‍රෝ ගෑස් සමාගම කල ඉල්ලීම


කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 850කින් ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

මේ අතර ලිට්‍රෝ සමාගම විසින් (12) දිනය තුළ ප්‍රදේශ කිහිපයකට ගෑස් නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල ගෑස් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ට අදත් සිදුවූයේ දිගු පෝලිම්වල රැඳී සිටීමටය.

ණයවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් සිදුකිරීමට පැවති ගැටලු හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ප්‍රමාණවත් තරම් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකෙරුණි.

ලිට්‍රෝ සමාගම පැවසුවේ ඊයේ සහ අද දිනයේදී ලක්ෂ 2ක පමණ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බවය.

ගොඩගම ලිට්‍රෝ ගෑස් නියෝජිත ආයතනයට අද ගෑස් සිලින්ඩර තොගයක් ලැබුණත් ඒවා පාරිභෝගිකයින්ට ලබානොදී ලොරි රථවලට පැටවීමෙන් නොසන්සුන් තත්ත්වයක් ද ඇතිවිය.

මේ අතර පාන් මිල ඉහළ යෑම නිසා අද පාන් මිලදී ගැනීම සඳහා ජනතාවගේ පැමිණිමේ අඩුවක් තිබුණු බව බේකරි නිෂ්පාදන අලෙවිකරුවන් පවසයි.

අන්තරේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන බැවින් මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 10,000ක් දක්වා වැඩිකළ යුතු බවය.

(Aruna)