Monday, July 07, 2025
Follow Us
ගෑස් නැතිව හෝටල් සහ බේකරි රැසක් වැසේ

විදුලිය, ඉන්ධන මෙන්ම ගෑස් ද මේ වන විට මෙරට ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබෙනවා. ඒ, දින කිහිපයක සිට රට පුරා පවතින ගෑස් හිඟය හේතුවෙන්. ගෑස් නොමැතිවීම හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරි රැසක් මේ වන විට වැසී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ඒ ඔස්සේ සිය ජීවිකාව සිදුකළ බොහෝ පිරිසක් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ දිවයින පුරා ප්‍රධාන නගරවල ආපනශාලාවලින් සියයට 60 ක්ම වැසී ගොස් ඇති බවයි.

ජනතාව ද පැවසුවේ ඉන්ධන ගැනීමට මෙන්ම තමන්ට දැන් ගෑස් ලබාගැනීමට ද යළි පෝලිමේ සිටීමට සිදුවී ඇති බවයි.

ගෑස් නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ආදාහනාගාරවල කටයුතුවලටද බලපෑම් එල්ලවී තිබෙනවා. සංචාරක හෝටල්වලට මෙන්ම රෝහල්වල කටයුතු පවත්වාගෙන යාමට ද ගෑස් හිඟය හේතුවෙන් එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

(Neth)