Wednesday, September 17, 2025
Follow Us
රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කරන හැටි හෙළි කෙරේ

නැදුන්ගමුවේ රාජා හස්තියා පිළිබඳ මේ වන විට මුලු රටම කතාබහ කරමින් සිටිනවා. ඒ, 2006 වසරේ සිට ශ්‍රී දළඳා මාලිගා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමට තරම් භාග්‍යවන්ත වූ ආසියාවේ උසම හීලෑ දළ ඇතාගේ වියෝව හේතුවෙන්. මුලු මහත් ජාතියේම අසීමිත ගෞරවාදරයකට පාත්‍රවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අනාගත පරපුරට දැකගැනීම සඳහා සිරුර සංරක්ෂණය කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ, නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරමින්.

උසින් අඩි 10 හමාරක් පමණ ද අඩි 05ක් පමණ දිගැති ස්වේත වර්ණ දළ යුගලක් ද හිමි මෙවන් ගාම්භීර හස්ති රාජයෙකු අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන්නේ කෙසේද ? නෙත් නිවුස් අපි ඒ පිළිබඳ සොයා බැලුවා.

ඒ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනූජා කස්තුරුආරච්චි. මෙම හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කරන්නේද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවයි.

ඉතා සියුම් මෙහෙයුමක් වන මෙම සංරක්ෂණ කටයුත්ත සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවටයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනූජා කස්තුරුආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ.

මුලු මහත් ජාතියේම අසීමිත ගෞරවාදරයකට පාත්‍රවූ නැදුන්ගමුවේ රාජා හස්තියා මිය ගියේ ඊයේ අළුයමයි. ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ ජීවත්වූ මෙම හස්තියා මියයන විට 69 වියේ පසුවුණා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පැවසුවේ හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමේ කටයුතු ඊයේ දිනයේ ම ආරම්භ කර ඇති බවයි.

(Neth)