Monday, July 07, 2025
Follow Us
මහා ශිව රාත්‍රී දිනය අදයි

මහාශිව රාත්‍රියට ජනපතිගෙන් පණිවුඩයක්


හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.

මහාශිව රාත්‍රිය, ශිව දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන හින්දු ආධ්‍යාත්මික මංගල්‍යයකි. එම බැතිමත්හු අනාදිමත් කාලයක සිට ශිව දෙවියන් හට පුද පූජා පැවැත්වීමෙන් එම ආශිර්වාදය ලබා ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මහාශිව රාත්‍රි දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

පුද්ගල ජීවිතය මෙන්ම ලෝකය තුළ අන්ධකාරය හා අවිද්‍යාව බිඳ ප්‍රඥාව අවදි කර ගැනීම මහාශිව රාත්‍රි දිනයේදී සමරනු ලබයි. එමෙන්ම සමෘද්ධිය හා සශ්‍රීකත්වයේ අපේක්ෂාව ද මහාශිව රාත්‍රිය හා බැඳී පවතී.

සියලුදෙනා පීඩාවෙන් මුදා ගැනීම යනු මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දිව්‍යමය ප්‍රාර්ථනාවකි. ශිව දෙවියන් වෙනුවෙන් උපවාසයේ යෙදෙමින්, යැදුම් පවත්වමින් හා භාවනායෝගීව සිටිමින් මහාශිව රාත්‍රි දිනයේ අත්කරගත් ආධ්‍යාත්මික ශක්තීන් සමස්ත සමාජයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට ආශිර්වාදය එක් කරනු ඇතැයි යන්න සැමගේ අපේක්ෂාවයි.

ශිව දෙවියන්ගේ මංගල්‍යය සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝකවාසී ජනතාව තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති කරවන අතර අවංක බව, ත්‍යාගශීලී බව සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංගයන් අනුව ජීවත්වීමට ආරාධනා කරයි. මහාශිව රාත්‍රියේ ආධ්‍යාත්මික පණිවුඩය එකිනෙකා අතර සාමූහික බව තවදුරටත් ශක්තිමත් කරනු ලබයි.

ආධ්‍යාත්මික සුවය, සශ්‍රීකත්වය සහ ප්‍රබෝධය සියලු දෙනාගේ යහපත් අභිමතාර්ථ සාධනයට හේතු වන සුබ මහාශිව රාත්‍රි මංගල්‍යයක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

(Aruna)