Wednesday, October 23, 2024
Follow Us
සහරාන් කල්ලියේ ප්‍රහාර ගැන අවස්ථා 97 කදී අනතුරු අඟවලා !

ජාතික තවුහීද් ජමාත් නායක මොහමඩ් සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලියෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට රාජ්‍ය බුද්ධි සේවය විසින් පසුගිය අවුරුදු 03 ක කාලය තුළ අවස්ථා 97 කදී අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව අනාවරණය වේ.

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සංජීව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් ලබා දී ඇති දිවුරුම් පෙත්සමක් මගින් මේ බව හෙළි වී ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එසේ අනතුරු ඇඟවීම් සිදුකර තිබියදී මෙම ප්‍රහාරයේ වගකීමෙන් මිදීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ද නොහැකි බවයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ රස පරීක්ෂණ වාර්තා ඉදිරි සති දෙක තුළ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංග මහතා පවසන්නේ ස්ථාන හතකදී සිදු වූ ප්‍රහාරය හත පිළිබඳව වෙන වෙනම රස පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන බවයි. ඒ අනුව ‍කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමට අදාල වාර්තාව පළමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(LNW)