Monday, July 07, 2025
Follow Us
නැව පැමිණියත් ඩීසල් දින හතකට පමණයි

ඩීසල් මෙට්ට්‍රික් ටොන් 41,000 ක් රැගෙන මෙරටට ලගාවූ නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම ඊයේ දින ආරම්භ කළ ද එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ දින 7 ක් සදහා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ මෙම ඩීසල් තොගය ගොඩබෑම සදහා ගතවන සම්පූර්ණ කාලය දින 4 ක් පමණ වන බවයි.

එම නෞකාවේ අඩංගු ඩීසල් තොගයෙන් අඩක ප්‍රමාණයක් ගොඩබාන්නේ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයටයි. ඉතිරි ඩීසල් තොගය කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට ගොඩබෑම සදහා අදාළ නෞකාව කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතයි.

තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දින 7 කට පසුවයි. මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස ඩීසල් තොග රැස් නොකර අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඩීසල් මිලදි ගන්නා ලෙසයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

මෙරට දෛනික ඩීසල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 8,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින විදුලි කප්පාදුව හේතුවෙන් විදුලි ජනන යන්ත්‍ර භාවිත කිරීම ඊට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් තවත් දින 12 කට අවශ්‍ය පෙට්‍රල් තොග තමන් සතුව පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,500 ක් අඩංගු නෞකාවක් මේ වනවිටත් මෙරටට පැමිණ ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)