Tuesday, July 08, 2025
Follow Us
ඉන්ධන නැතුව බස් සහ ත්‍රීරෝද රථ ධාවනය කොට උඩ

ඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනයට ද අහිතකර බලපෑම් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා බස් හිමියන්ට වෙනත් ප්‍රදේශවලට යාමට සිදුව ඇති බවයි.

පෞද්ගලික බස් කර්මාන්තකරුවන් තවත් ගැටළු රැසකට මුහුණපා සිටින බවත් ඊට විසදුම් ඉල්ලා ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

බස් රථ කර්මාන්තකරුවන් මෙන්ම ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන පිරිස් ද ඉන්ධන හිඟය හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත්දා පැවසුවේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකින් විශාල පාඩුවක් ලබන බැවින් ඉන්ධන මිල වැඩි කළ යුතු බවයි.

කෙසේවෙතත් රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර අමාත්‍යවරයා ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇත්නම් ඒ පිළිබඳ පෙර දැනුම්දීමක් කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.

කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර ඇති ආකාරය ඉකුත් දින කිහිපයේම මෙන්ම අද දිනයේ ද දැකගත හැකි වුණා. අනෙකුත් ඉන්ධනහල් ආශ්‍රිතව අදත් දැකගත හැකිවූයේ දිගු පෝළිම් තත්ත්වයක්.

මේ අතර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් සපයන්නේ නැතිනම් තෙල් ආනයනයට ඩොලර් ලබාදිය නොහැකි බවට මහ බැංකුව ලිඛිතව දැනුම්දී ඇති බවයි.

ඒ අනුව ඩොලර් නැතිවීම කෙසේවෙතත් රුපියල් නැතිවීම මත නුදුරු අනාගතයේ තෙල් නැතිවීමේ අවධානමක් පවතින බව ඔහු පැවසුවා.

එබැවින් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස අද දින මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවයි අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ.

(Neth)