නවතම පර්යේෂණයෙන් හෙළිදරව් වූ දේ මෙන්න
ළදරුවන් සඳහා වන කිරි බෝතල් සහ ආහාර බඳුන් වල බිස්ෆීනෝල් ඒ නම් රසායනිකය අඩංගු බව තහවුරු වී ඇත.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුලු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ජාත්‍යන්තර දූෂක නිවාරක ජාලය (International Pollutants Elimination Network – IPEN) විසින් සිදුකරන ලද පරීක්ෂණයක් මඟින් මේ බව හෙළි වී තිබේ.
මේ සඳහා පරීක්ෂාකරන ලද බඳුන් 98න් 76 කම මෙම රසායනිකය අඩංගු වී ඇති බව තහවුරු වී තිබේ.
මේ අතරින් ඇතැම් බඳුන්වල මෙම රසායනිකය අඩංගු නොවන බව සඳහන් කොට තිබුන ද විද්‍යාගාර පරීක්ෂණය ඔස්සේ එය සාවද්‍ය බව ඔප්පු වී තිබේ.
බිස්ෆීනෝල් ඒ (Bisphenol A- BPA) යනු පිළිකා, ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා, පිරිමින් සහ කාන්තාවන් තුළ ලිංගික දුබලතාවය මෙන්ම දියවැඩියාව ආදී සෞඛ්‍යමය ගැටළු ඇතිකරන රසායනිකයකි.
බොහෝ රටවල මෙය අන්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යානුකූලව හඳුනාගෙන ඇති අතර යුරෝපා සංගමය තුළ හෝමෝන ක්‍රියාවලියට බාධාකරන රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම අධ්‍යයනය සඳහා බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, රුසියාව, ශ්‍රී ලංකාව, සහ ටැන්සානියාව යන රටවල IPEN සාමාජික කණ්ඩායම්, ළදරු කිරි බෝතල්, සිපී කෝප්ප, ෆීඩින් කප් වැනි ළදරු නිශ්පාදන නියැදි යොදාගෙන තිබේ.
(Aruna)