Tuesday, July 08, 2025
Follow Us
කොවිඩ් අස්සේ තවත් භායනක රෝගයක් පැතිරෙයි

යාපනයේ දිස්ත්‍රික්කයෙන් මැලේරියා රෝගය පැතිරයාමේ අවදානමක්


සති හතරක කාලයකදී මෙරටින් මැලේරියා රෝගීන් හතර දෙනකු හමුවීම ඉතාමත් බරපතල තත්ත්වයක් බවත් මගහැරුණු එක් මැලේරියා රෝගියකු හමුවීම මැලේරියා රෝගීන් දහසක ආරම්භයක් විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේය.

මෙම රෝගීන් හතර දෙනාම වාර්තා වී ඇත්තේ යාපනයේ දිස්ත්‍රික්කයෙන් බව කී විශේෂඥ වෛද්‍යවරයා උතුරු පළාත ආශ්‍රිතව මැලේරියා රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බවත් ඒ හේතුවෙන් අනෙක් දිස්ත්‍රික්ක ද පවතින්නේ අවදානමක බවත් පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘පසුගිය දෙසැම්බර් 31 වැනිදා වෙද්දී මැලේරියා රෝගීන් දෙදෙනකු වාර්තා වුණා යාපනයෙන්. ඉන් පස්සේ සති දෙකකින් තවත් දෙදෙනකු වාර්තා වුණා. සති හතරක් තුළ යාපනෙන් රෝගීන් හතරක් වාර්තා වෙලා තියනවා. ලංකාව කියන්නේ ඉතාමත් කුඩා රාජ්‍යයක්. එවැනි රටක එක ප්‍රදේශයක අවදානමක් තියනවා කියන්නේ රටම අවදානමේ කියන එක. අපිට සතුටු වෙන්න බැහැ ඒ නිසා එක පැත්තක විතරයි අවදානම තියෙන්නේ කියලා. මෙම දැඩි අවදානමකින් යාපනය මුදවාගන්න මැලේරියා මර්දනය කරන කණ්ඩායම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ එම පළාතේ රෝහල් අධ්‍යක්ෂකවරුන් ලොකු කැපකිරීමක් කළා.
මේ වසරේ වාර්තා වුණු රෝගීන් හය දෙනෙකු ඉන්නවා. ඒ හය දෙනාම අප්‍රිකානු රටවල ඉඳන් පැමිණි රෝගීන්. මොවුන්ගේ ජිවිත අපි බේරාගත්තේ දැඩි සත්කාර ඒකකවල තියන් ඉඳලා ප්‍රතිකාර දීලා. 6 වැනියට වාර්තා වූ රෝගියා හමුවුණේ අනුරාධපුරයේ හබරණ ප්‍රදේශයෙන්. විදේශයෙන් ආපු කණ්ඩායමක තමයි ඔහු හිටියේ. ඔහු කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ. එහෙම කෙනකු අපේ වෛද්‍ය කණ්ඩායම් විසින් සොයාගැනීම විශාල ජයග්‍රහණයක්.
මොකද එක මග හැරුණු රෝගියෙක් මැලේරියා රෝගීන් දහසක ආරම්භයක් වන්නට පුළුවන්. මෙහි ඇති අනෙක් විශේෂත්වය තමයි සෞඛ්‍ය වැඩවර්ජනයක් යන අතරතුරේ තමයි මේ රෝගියාව සොයාගත්තේ අපේ වෛද්‍යවරු විසින්. මැලේරියා මර්දන ක්‍රියාවලිය වැඩවර්ජන අතර තුරෙත් අපිට ගෙනියන්න පුළුවන් වුණා.’’
අශිකා ජයවීර

(Aruna)