Saturday, April 27, 2024
Follow Us
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභීන් 304කට පත්වීම්

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. විවෘත තරග විභාගයකින් සමත්ව ලකුණු මට්ටම අනුව මෙම පිරිස තෝරාගෙන ඇත. ශාඛා 276කින් සමන්වත ප්‍රාදේශීය සංවර්ධන බැංකු ජාලය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය ලබා දීමේ දී සුවිශේෂ ස්ථානයක් හිමිකරගෙන සිටියි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 2.9%ක ඉතා අවම මට්ටමක පවතින ව්‍යවාසයකත්ව ප්‍රතිශතය වැඩි කිරීමේ අරමුණෙන් විශේෂයෙන් කාන්තා ව්‍යවසායකයන් ඇති කිරීම සඳහා කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර, වාණිජ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් සඳහා ණය ලබාදීම මෙම බැංකුව මගින් සිදු කෙරේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මේ වන විට නිකුත් කර ඇති සමස්ත ණයවල වටිනාකම රුපියල් බිලියන 143කි.

සාම්ප්‍රදායික බැංකු නිලධාරීන් කරනවාක් මෙන් ගනුදෙනුකරුවන්ට ණය ලබා දීම වෙනුවට ණය ලබා නොදීම නොකරන ලෙස නව පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීම සඳහා පැමිණෙන්නේ මෙරට රාජ්‍ය අංශයෙන් සේම පෞද්ගලික අංශයෙන් රැකියා අපේක්ෂා නොකර ස්ව ශක්තියෙන් නැගී සිටීමට උත්සහ දරණ ව්‍යවසායකත්ව අපේක්ෂාවන් ඇති තරුණ තරුණයන් බව පෙන්වා දුන්නේ ය.

වසරක් තුළ ව්‍යවාසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක ලෝක බැංකුවේ පවා පැසසුම් ලැබී ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයට මෙවර අයවැය අනුව මෑතදී හඳුන්වා නව ණය යෝජනා ක්‍රමය නුදුරේ දී ක්‍රියාත්මක කරන බවයි. අලුත විවාපත් යුවල වෙනුවෙන් හඳුන්වා දෙන හෝම් ස්වීට් හෝම් නිවාස ණය යෝජනා ක්‍රමය ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර එමගින් 6.75%ක පොලිය යටතේ රුපියල් මිලියන 10ක් දක්වා උපරිම ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී. වසර 25ක් දක්වා ණය මුදල ගෙවීමේ හැකියාව පවතී. මීට අමතරව ධීවර සහ සංචාරක කර්මාන්ත ඉලක්ක කර ගනිමින් ද නව ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරේ.

උත්සවය අමතමින් අමාත්‍යවරයා පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙසේ අදහස් පළ කළේ ය.

“1948 පෙබරවාරි 04 වෙනිදා ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නා අවස්ථාවේ දී එංගලන්තයේ ටයිම්ස් පුවත්පත ශිර්ෂය පළ කරල තිබුණෙ ආසියාවේ ස්වීට්සර්ලන්තය කරා ගමන් ගන්නා ශ්‍රී ලංකාව යනුවෙනි. එහෙත් ඉන් වසර හැත්තෑවකට පසු අද භුක්ති විඳින්නේ ජාතීන් ලෙස, ආගම් ලෙස, විවිධ කුල ලෙස වෙන්වීමේ ප්‍රතිඵලයන් ය. දකුණේ තරුණ කැරළි දෙකක්, උතුරේ යුද්ධයක් අපේ රටේ තරුණ ජීවිත දහස් ගණනකගේ ජීවිත විනාශ කළේ ය. ඒ විනාශ වූයේ සිංහල හෝ දෙමළ හෝ ජවිපෙ හෝ එජාප හෝ මේ රටේ තරුණ ජීවිතයන් ය.

2015 වසරේ දී අප භාර ගත්තේ ණය බරෙනි මිරිකුණු රටකි. ඒ ණය කන්දත් කරේ තබාගෙන වසර තුනක් තිස්සේ ආ දුෂ්කර ගමන අද වන විට රටේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යාමට අපි සමත් ව සිටිමු.

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක ප්‍රතිඵලයකි. ලන්ඩන් නුවර, පැරිස් නුවර ආදී ස්ථාන පවා මේ ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් විය. නමුත් අප රට ගොඩනාගෙන තිබූ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය, ශක්තිමත් ආර්ථිකය, විදේශිය සබඳතා සේම ආරක්ෂාව යන කරුණු හේතුවෙන් තත්ත්වය වඩාත් ඉක්මණින් පාලනය කර ගැනීමට හැකි විය. තත්ත්වය කෙසේ වුව ද මෙම සිද්ධිය දඩමීමා කරගනිමින් තමන්ගේ පටු දේශපාලන වාසිය කතා රට තුළ ජාතිවාදය ඉස්මතු කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන පිරිස පිළිබඳ සඳහන් කළ යුතු මය. සියලුම මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් ලෙස හුවා දක්වමින් ඔවුන් මේ කිරීමට සූදානම් වන්නේ දේශපාලනයකි. බෞද්ධ අන්තවාදීහුද සිටිති. ඔවුන් කරමින් සිටින්නේ මේ සිදු වීම ආණ්ඩු පෙරළියක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියකට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමය. ඔවුන් මේ කරමින් ඉන්නේ රට වසර 30 යුද්ධයකට ඇද දැමූ වරද යළිත් සිදු කිරීමට ය.

එදා අමිර්තලිංගම් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැර රට මහත් විනාශයකට ගමන් කරවූ වරද අද යළිත් සිදු කරමින් මුස්ලිම් නායකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ කටයුත්තකට මුල පුරමින් සිටියි. අමාත්‍ය රිසාද් බදියුදීන් ඇතුළු පිරිසට ඇත්තේ දේශපාලන චෝදනා මිස නීතිමය චෝදනා නොවේ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

මේ රටේ වෙසෙන මුස්ලිම්වරු 99.9%ක් ජාතිවාදීහු නොවෙති. ඊට කදිම නිදසුන නම් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා මුස්ලිම් ජනතාව දැක්වූ සහයෝගයයි. ඒ නිසා ඔවුන්ගේ විලාසිතා මෙසේ විය යුතුයි කියල තීරණය කරන්න අපට අයිතියක් නැත. මේ ආකාරයට පමණක් ඇඳිය යුතු යැයි ප්‍රකාශ කිරීමට අපට අයිතියක් නැත.

මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ කාන්තා විදුහලක විදුහල්පතිනියක් මුස්ලිම් ගුරුවරියන් පිරිසකට සාරිවලින් සැරසී සේවයට පැමිණෙන ලෙස දන්වා ඇත. අප කළ යුත්තේ ඔවුන්ගේ ඇඳුමට ගරු කිරීමයි. ඔවුන්ට අපේ සහයෝගය ලබා දිය යුතුයි. අපි වෙන් වෙන්න ගියොත් අපේ රටට අනාගතයක් නැති වනු ඇතැයි මංගල සමරවීර මහතා අවධාරණය කළේ ය.

මෙරට බහුතර ජනතාව සිංහල බෞද්ධයෝ ය. එහෙත් බෞද්ධ ආගමක් කියන වචනයට මා විරුද්ධය. හේතුව එය දර්ශනයකි. එය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවේ. බෞද්ධ දර්ශනය විශ්වයට ම අදාළ ය. එය දිව්‍ය ලෝකයට සේම නරකාදියටත් අදාළ ය. එහෙත් ඇතැම් චීවරධාරීහු මෙය ආගමක් බවට පත් කර ගනිමින් එය විකුණාගෙන කෑමට උත්සහ දරමින් සිටිති.” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්. බී. අතපත්තු, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති සුජිත් කාරියවසම් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.