තුල්හිරිය සහ මතුගම බලාගාරයත් නවතී
කැලණිතිස්ස බලාගාරයට දින 12ක් තිස්සේ ඩීසල් ලැබී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේය. ඩීසල් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියත් තවමත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි පවසා සිටියේය.
හෙතම පෙන්වා දුන්නේ ඉන්ධන නොමැති වීමෙන් මේ වන විට තුල්හිරිය සහ මතුගම බලාගාරයද අක්‍රිය වී ඇති බවය. සපුගස්කන්ද විදුලි බලාගාරයටද දැවිතෙල් ඇත්තේ තවත් දිනකට පමණක් බව ඔහු කියා සිටියේය.
මෙම තත්ත්වය තුළ විදුලි අර්බුදයක් මතුවීමේ අවධානමක් පවතින බවත් විදුලි කප්පාදුවකට යාමට අවශ්‍යතාවක් මතු විය හැකි බව ඇන්ඩෲ නවමනි මහතා අවධාරණය කළේය. අද (14) දිනයෙන් පසුව ඇතිවන තත්ත්වය දෙස සලකා බලා විදුලි කප්පාදුවක් සිදුකරනවාද නැද්ද යන්න අවසන් තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ක්‍රමයෙන් අඩුවී යාමක් සිදුවුවහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත ජල අර්බුදයක්ද ඇති විය හැකි බව ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම පැවසුවේය.
දැනට පවතින ජල ප්‍රතිශතය ප්‍රමාණවත් වන්නේ සති දෙකක කාලයක් සඳහා විදුලිය නිපදවීම සඳහා ලබාදීමට පමණක් බවත්, ඉකුත් වසර 05 ට සාපේක්ෂව මෙතෙක් වාර්තා වූ අඩුම ජල ප්‍රතිශතය වාර්තා වූයේ මෙවර බව ලේකම්වරයා පැවසුවේය. මේ වන විට යම් තරමක වර්ෂාපතනයක් ලැබෙන අතර එම වර්ෂාපතනය අප්‍රේල් දක්වා පැවතුණහොත් ජලාශවල ජල මට්ටම ඉහළ යන බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වූ යුගදනවි බලාගාරය ඊයේ (13දා) පස්වරුව වන විට යළි සක්‍රිය කිරීමට හැකියාව ලැබුණු බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේය.
එමෙන්ම හදිසි බිඳවැටීමකට ලක්වූ කැලණිතිස්ස සොජිස්ට්ස් බලාගාරයද මේ වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇත.
මෙගාවොට් 270ක් නිෂ්පාදනය කරන කෙරවලපිටිය බලාගාරය සහ මෙගාවොට් 130ක් නිෂ්පාදනය කරන සොජිස්ට්ස් බලාගාරය තාක්ෂණික දෝෂ හේතුවෙන් අක්‍රිය වී තිබුණේ පසුගිය සති අන්තයේය.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම මේ හේතුවෙන් විදුලිය විසන්ධි වීමක් සිදුවිය.
(Aruna)