Tuesday, July 08, 2025
Follow Us
පළාත් හතරකට අද තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

පළාත් හතරකට තද වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද යන පළාත්වලට මෙන්ම කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලටත් මිලි මීටර් 100 ඉක්මවූ තදවැසි අද (14 වැනිදා) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි. ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කීවේය.

ඊයේ (13 වැනිදා) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ආශ්‍රිත ප්‍රදේශයෙන් වාර්තාවී ඇත. එම ප්‍රදේශයට මිලි මීටර් 186ක වර්ෂාපතනයක් ලැබී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු සියලුම ප්‍රදේශවලින් වර්ෂා තත්ත්වයන් වාර්තා වී තිබිණි.
වාරි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඩී. අබේසිරිවර්ධන පැවසීය.

අනුරාධපුර, හුරුළු වැව, පදවිය හා යාන් ඔය යන ප්‍රදේශවලට ඊයේ (13 වැනිදා) පෙරවරුවෙන් අවසන් වූ පැය 24ක කාලය තුළදී මිලි මීටර් 50 දක්වා වර්ෂාපතනයක් ලැබි තිබේ. තවද, නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට මිලි මීටර් 60 සිට 80 දක්වා වර්ෂාපතනයක් ලැබී ඇත.

මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

(Aruna)