Tuesday, July 08, 2025
Follow Us
වාරණ නියෝගයට දින දෙකයි - සෞඛ්‍ය වර්ජනය තවමත්

අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබියදී සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය 06 වන දිනටත් දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි.

වෘත්තීය සමිති පවසන්නේ අධිකරණයෙන් ලබාදුන් වාරණ නියෝගය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි.

එමෙන්ම තම ගැටළුවලට විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බැවින් වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේයි.

ඒ, නීතිපතිවරයා, අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. දින 02 ක් ගතවී ඇතත්, වෘත්තීය සමිති පවසන්නේ තමන් අතට වාරණ නියෝගය ලැබී නොමැති බවයි.

වාරණ නියෝගය පිළිබඳ ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වී ඇති බැවින් වෘත්තීය සමිති අධිකරණයට අපහාස කිරීමක් සිදුකරන බව ද ඔහු කියා සිටියා.

මේ අතර විදුලි බල සැපයුම මෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

(Neth)