Tuesday, July 08, 2025
Follow Us
කෘත්‍රිමව හැදූ මත්ද්‍රව්‍ය වර්ග සීයක් රටපුරා

මෙරට භාවිත මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්


විවිධ නම්වලින් යුතු මත්ද්‍රව්‍ය වර්ග 100කට අධික ප්‍රමාණයක් මෙරට භාවිත වන බව අනාවරණය වී ඇතැයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ පැවැසීය.

හොරොයින් සහ අයිස් යන මත්ද්‍රව්‍යවලට අමතරව එලෙස නිශ්චිත ලෙස හඳුනාගෙන තිබෙන මත්ද්‍රව්‍ය සඳහා වෙන වෙනම නීති සකස් කරන බවද හෙතෙම කීවේය.

මත්ද්‍රව්‍ය සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය සම්බන්ධ දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, මත්ද්‍රව්‍ය වර්ග 100කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් විධිමත් අයුරින් නීති සංශෝධනය කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටවලින් මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍යවලට විවිධ මිශ්‍රණයන් මෙරට දී එකතු කර අලෙවි කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කරන ලද පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම නයිජීරියාව, ඉරානය, යුක්රේනය සහ ඉරාකය වැනි රටවලින් මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය තොග පිටින් මෙරටට රැගෙන එන අතර ඉකුත් වසර කිහිපය තුළ දී එසේ රැගෙන ආ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් සිය ගණනින්, සැකකරුවන් සමග අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුම්වලදී හැකි වී තිබුණි.

මත්පෙති හා මත් මුද්දර ඇතුළු කෘත්‍රිම මත්ද්‍රව්‍යවලට ජාවාරම්කරුවන් විසින් විවිධ කුඩු වර්ග මිශ්‍ර කර වෙළෙඳපොළ වටිනාකම අනුව අධික ලෙස ලාභ ලබන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

(Aruna)