Tuesday, July 08, 2025
Follow Us
සෞඛ්‍ය වර්ජනය අත්හිටුවීමට නියෝග

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට වාරණ නියෝගයක්


සෞඛ්‍ය සේවය අඩාළ වන අයුරින් සහ රෝගී ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් සිදු කරනු ලබන වැඩවර්ජන අත්හිටුවන ලෙස කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ ඊයේ (10) රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එහි සභාපති සමන් රත්නප්‍රිය යන අය වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය විසඳීමට සුදුසු පියවර නොගැනීම රටේ තවත් වෘත්තීය සමිතිවලට එවැනි පියවර සඳහා දිරිගැන්වීමක් වනු ඇති බවත්, එමගින් රටේ තත්ත්වය ඉතාමත් ව්‍යාකූලවීම නොවැළැක්විය හැකි වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
පසුගිය කාලයේ රාජ්‍ය අංශයේ සිදුවූ සියලුම වර්ජන සම්බන්ධයෙන් මහජනතාව බලා සිටියේ විමතියෙන් හා අප්‍රසන්න හැඟීමකිනි. රටේ දිළිඳු ජනතාව ඉතා අන්ත අසරණව සිටින මේ මොහොතේ අඛණ්ඩ වර්ජනයක යෙදීම අනුමත කළ නොහැකි ක්‍රියාවකි.
මෙම වර්ජනය නිසා රෝගීන්ට සිදුවන හානිය අවම කිරීම සෞඛ්‍ය වෘත්තිකයන්ට විශේෂ වගකීමක් තිබේ. කොවිඩ් වසංගතයට අමතරව රජයේ අදූරදර්ශී ක්‍රියාවන් රෝගීන්ට පමණක් නොව සියලු ජනතාවට අහිතකර ප්‍රතිඵල ගෙනදී තිබෙන නිසාය. රජය තවදුරටත් වෘත්තීය සමිති බලපෑමට යටත් වුවහොත් රට තවදුරටත් ව්‍යාකූල වීම නොවැළැක්විය හැකිය. මෙය වළක්වා ගැනීමට කළ යුතුව ඇත්තේ රාජ්‍ය අංශයේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ජාතික වැටුප කොමිසම හරහා රජයේ වැටුප් සම්බන්ධයෙන් සුදුසුකම් හා වෘත්තීය කුසලතා මත පදනම් වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

(Aruna)