Monday, February 23, 2026
Follow Us
අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත්

වයස අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදීම ඉදිරියේදී සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. 07 කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ අවුරුදු 05 ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදිය හැකි බව මේ වනවිටත් ගෝලීය වශයෙන් සනාථ වී ඇති බවයි.

අවුරුදු 05 ට අඩු, මාස 06 ට වැඩි දරුවන්ට එන්නත් ලබාදිය හැකිද යන්න පිළිබඳව මේ වනවිටත් පර්යේෂණ සිදු කරමින් තිබෙන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ ඒ අනුව ඉදිරියේදී එන්නත් ලබාදෙන වයස් සීමාවන් වෙනස් විය හැකි බවයි.

කොවිඩ් ආසාදනය වන දරුවන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවද ඔවුන් හරහා වෛරසය ව්‍යාප්ත විය හැකි බැවින් ඔවුන්ටද එන්නත් ලබාදීම සුදුසු වන බවද ඔහු පවසනවා.

කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ මත ප්‍රචාරය වන බැවින්, එම ව්‍යාජ මතවලට නොරැවටී හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙද බී.ජේ.සී. පෙරේරා වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(LNW)