දුම්මලසූරිය, යගම්වෙල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් හලාවත කොට්ඨාශ භාර නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම මුස්ලිම් පල්ලියේ ඊයේ දහවල් පැවැති යාඥා මෙහෙයකට මවුලවීවරයකුට මුදල් ගෙවීම සඳහා එම යාඥාවට සහභාගී වූ පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කර තිබූ බවයි පොලීසිය පැවසුවේ.
එම අවස්ථාවේදී ඒ ආසන්නයේ පිහිටි පාසැලක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙම මතභේදකාරීත්වය හට ගත් බව පොලීසිය සඳහන් කළා.
එම ආරවුල ගැටුම්කාරී තත්ත්වයක් දක්වා දුරදිග යාම හේතුවෙන් පහරදීමක් ද සිදුව ඇති අත පහර කෑමෙන් දෙදෙනෙකු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. මෙම සිද්ධිය පල්ලියේ පරිපාලන කටයුතු පිළිබඳ වරින්වර පැවැති ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ඇතිවූවක් බවයි මෙතෙක් සිදුකල පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හලාවත කොට්ඨාශ භාර නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ දුම්මලසූරිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.
(Neth)