Friday, May 17, 2024
Follow Us
අලුතින් ස්ථිර කළ උපාධිධාරීන් කාර්යාලවලට පුරවයි. දෙන්න වැඩත් නෑ, ඉන්න ඉඩත් නෑ !

පුහුණු අභ්‍යාසලාභී උපාධිධාරීන් වශයෙන් රාජ්‍ය සේවයට බඳවා ගෙන සංවර්ධන නිලධාරී (iii) වන ශ්‍රේණියට අනියුක්ත කරගනු ලැබු උපාධිධාරීන් මේ වන විට ලංකාව පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ස්ථීර පත්වීම් ලබමින් සිටියි. මෙහිදී කිසිදු පෙර දැනුම් දීමකින් තොරව නිලධාරීන් මෙලෙස අනියුක්ත කර ඇති අතර මේ හේතුව නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරමින් සිටි නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. සිය පුහුණු කාලය තුළ යොදවන ලද විෂයන්වලින් සම්පූර්ණයෙන්ම පරිබාහිර වෙනත් ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩලවලට මොවුන් හිතු මනාපේ අනියුක්ත තර ඇති අතර මේ වන තෙක් කරගෙන ගිය වැඩසටහන් සියල්ල මහත් අවුල් ජාලාවක් බවට පත්ව ඇත.

දිගු කාලයක් තිස්සේ යම් යම් විෂයන් කරගෙන ගිය නිලධාරීන්ගෙන් එම විෂයන් ඉවත් කර ඒ වෙනුවට නවක නිලධාරීන් ස්ථිර පත්වීම් ලබා පැමිණීම හේතුවෙන් වැඩ කිරීමට එක් කෙනෙකුත් නමට තවත් කෙනෙකුත් කාර්යාලවල දක්නට ලැබේ. කාර්යාලීය උපකරණවල පවතින සීමා සහිත භාවය නිසා සියලුම දෙනා මහත් අපහසුතාවයට ලක්ව ඇති අතර පුටුවක් මේසයක්වත් නොමැති තත්වයක් දක්නට හැකිය.

තුන්වන ශ්‍රේණිය යටතේ පත්වීම් ලැබූ මේ නිලධාරීන් කණ්ඩායම් වශයෙන් එක්ව සිය වෘත්තීය අවශ්‍යතා, දීමනා ලබා ගැනීමට මහත් උනන්දුවකින් කටයුතු කරන නමුත් රාජකාරී කිරීමට යාමේදී ඒවාට වග කීමට බැඳී සිටින බවක් දක්නට නැත.

එමෙන්ම බහුකාර්ය සංවර්ධක කාර්ය සාධක බලකාය වෙනුවෙන් බඳවා ගන්නා ලද ( සාමාන්‍ය පෙළ අසමත් ) ඇතැම් කාර්යාල කාර්ය සහායකවරුන්ට අකුරුවත් බැරිය. ඔවුනට කුමන රාජකාරී පවරන්නේද යන්න නොවිසඳෙන ගැටලුවකි. ඔවුන් උදේ සිට කාර්යාලයේ රැඳී සිටිනවාට වැටුපක් ගෙවිය යුතු තැනට රාජ්‍ය සේවය පත්වෙමින් ඇත. රටේ පුරවැසියන්ට රාජ්‍ය සේවය පිළිබඳ දැනටත් පවතින අකමැත්ත හෙට දිනයේ පැවතියාටත් වඩා වැඩි විය හැක. මැතිවරණයක් ඉලක්ක කරගෙන කිසිදු කළමණාකරණයකින් හා සංවිධානයකින් තොරව රාජ්‍ය සේවයට දැරිය නොහැකි මට්ටමේ අතිරික්ත නිලධාරීන් පිරිසක් බඳවා ගැනීම හේතුවෙන් බරපතළ ප්‍රශ්න රැසක් දැනටමත් කාර්යාලවල දක්නට තිබේ.

අනෙක් අතට මෙම උපාධිධාරීන් රැකියා ඉල්ලා අරගල කළේ “රැකියාව අයිතියක්” බව කියමිනි. එසේ රැකියාව අයිතියක් නම් රාජකාරිය ද වගකීමකි. එය ඉටු කිරීමත් ඒ පිළිබඳ වගවීමත් නිලධාරියා සතු වගකීමකි, යුතුකමකි.

(LNW)