Monday, July 07, 2025
Follow Us
ඩොලර් රට යවන මහා පරිමාණ ජාවාරමක්

රට යවන ඩොලර්වලට වෙන දේ අභිරහසක් වෙලා


භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මේරටේ පවතින ඇමරිකානු ඩොලර් විදෙස් රටවලට යැවීමේ මහා පරිමාණ සංවිධානාත්මක ජාවාරමක් හෙළිකරගෙන තිබේ.

මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (31 වැනිදා) දැනුම් දුන්නේය.

රුපියල් කෝටි 25කට අධික (2,58,239,928) වටිනාකමින් යුත් ඇමරිකානු ඩොලර් ලක්ෂ දොළහකට අධික (12,65,882) නෝට්ටු වංචනික ලෙස විදෙස් රටවලට ප්‍රේෂණය කරන ලදැයි කියන සිද්ධියකට අදාළ පැමිණිල්ලක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් හා බැරකම් කොට්ඨාස එම දැනුම්දීම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී. රවිප්‍රිය කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි.

විවිධ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කොළඹ පිහිටි වෙළෙඳසල්වල නාමයන් සඳහන් කරමින් ලංකාවේ පවතින ඇමරිකානු ඩොලර් විදෙස් රටවලට යවනු ලැබුවද අදාළ සැකකරුවන් මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය කර නැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ ඇමරිකානු ඩොලර්වලට කුමක් සිදුවූයේද? යන්න සෙවීමට මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

(Aruna)