Monday, February 23, 2026
Follow Us
කොළඹ මාර්ග 21 ක ගමනාගමනය සීමා වෙයි

74 වන ජාතික නිදහස් දින උත්සවය පැවැත්වෙන පෙබරවාරි මස 04 දින, කොළඹ මාර්ග 21 ක ගමනාගමනය සීමා කෙරෙන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද ප්‍රකාශ කළා.

උළෙලේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 3,000 කට අධික පිරිසක් යොදවා ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්යය බළකාය සහ ත්‍රිවිධ හමුදාවේ ද සහය ලබා ගන්නා බවත් ප්‍රකාශ කෙරුණා.

ජාතික නිදහස් දින උළෙලට සමගාමීව බස්නාහිර පළාත ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මකයි.

අභිමානවත් 74 වන නිදහස් දින පෙළපාලියට සමගාමීව මෙවර නාවික හමුදාවෙන් ආචාර වෙඩිමුර සහ ගුවන් හමුදාවෙන් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට ද කටයුතු සුදානම් කර තිබෙනවා.

නිදහස් දින උත්සවය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ද ජාතික උත්සවයට එක් වන අතර ගුවන් යානා 26 ක් සහ ගුවන් නියමුවන් 50 ක් ඇතුළත් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට ද නියමිතයි.
(Neth)