Friday, May 17, 2024
Follow Us
ජනතාවට විෂ පොල්තෙල් කැවීමේ සූදානමක්

උත්සව සමයේ කූට වෙළෙඳුන් කරන්න යන වැඩේ


එළඹෙන උත්සව සමයේදී ඇති වන ඉල්ලුමත් සමග ෆාම් තෙල් මිශ්‍ර පොල් තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීමට කූට ව්‍යාපාරිකයන් පිරිසක් සුදානම් වන බව අනාවරණය වේ.

පොල් අවාරය හේතුවෙන් උත්සව සමයට ආසන්න ඉදිරි මාස කිහිපය තුළ පොල් තෙල් නිපදවීම සඳහා පොල් හිඟයක් පවතින බවත් එය මූලික කර ගනිමින් මෙම කූට වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසීය.

කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

එම නිසා මෙම උත්සාහය වළක්වන ලෙස එම ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක්ද කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කීය.

‘ෆාම් තෙල් ආනයනය කරන්නන් පොල් තෙල්වලට ෆාම් තෙල් මිශ්‍ර කර ජනතාවට විෂ සහිත පොල්තෙල් ලබාදීම පිළිබඳ සිදු වීම් වාර්තා වීමත් සමග ජනාධිපතිවරයා විසින් පසුගිය කාල සීමාවේදී ෆාම් තෙල් ආනයනය සඳහා ඉහල බදු මුදලක් සහ ගුණත්වයෙන් යුතු පොල්තෙල් සඳහා අඩු බදු මුදලකුත් නියම කරනු ලැබුවා. ඒ නිසා කූට ව්‍යාපාරිකයන්ට පොල් තෙල්වලට ෆාම් තෙල් මිශ්‍ර කර අලෙවි කිරීමේ අවස්ථාව මග හැරුනා. මොකද ෆාම් තෙල් ආනයනය කරලා පොල්තෙල්වලට මිශ්‍ර කරන එක පාඩුයි.

නමුත් දැන් මේ ව්‍යාපාරිකයන් සුදානම් වෙන්නේ පොල්තෙල් ඉහල යාමේ අවධානමක් ඇති බවට රජයට ඒත්තු ගන්වා ෆාම් තෙල් සඳහා වන බදු මුදල අඩු කර ගැනීමටයි. එම නිසා ජනතාවට සාමාන්‍ය මිලකට පොල්තෙල් ලබාදීමට අවශ්‍ය නම් රජය කළ යුත්තේ ඒ සඳහා අය කරන බදු මුදල තවත් අඩු කිරීමයි.’

(Aruna)