Tuesday, April 30, 2024
Follow Us
විදුලි සැපයුම අද රාත්‍රියේ සිට යළිත් අවධානමක

අද පස්වරු 07 පමණ වන විට ප්‍රධාන විදුලි පද්ධතියට තවත් මෙගාවොට් 63 ක ප්‍රමාණයක් අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, සපුගස්කන්ද විදුලි බලාගාරයේ “බී” කොටසේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන්.

ඒ අනුව බොහෝ විට මෙරට විදුලි ඉල්ලුම වැඩිම වේලාව වන රාත්‍රී 06 ත් 10 ත් අතර කාලය තුළ මෙම මෙගාවොට් 63 ක ප්‍රමාණය විදුලි පද්ධතියට අහිමිවෙනවා. පස්වරු 06 ත් රාත්‍රී 10 ත් අතර කාලය තුළ මෙරට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,600 ක් පමණ වනවා. එහෙත් ඊයේ දින මෙම කාලය තුළ මෙරට විදුලි ඉල්ලුම මෙගාවොට් 2,607 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රියවීම, වර්ෂාව නොමැතිවීම හේතුවෙන් ජල විදුලිය උත්පාදනය අඩුවීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළම කාලය තුළ ප්‍රධාන විදුලි පද්ධතියෙන් මෙගාවොට් 300 ක හිඟයක් පවතිනවා.

මෙම හිඟය කලමනාකරණය කරගනු ලබන්නේ ඩීසල් සහ දැවි තෙල් බලාගාර හරහායි. කෙසේවෙතත් සපුගස්කන්ද බලාගාරය මෙලෙස සම්පූර්ණයෙන් ම ජනන කටයුතු නවතා දැමීම හරහා විදුලි පද්ධතියට අහිමි වන මෙගාවොට් 108 ක ප්‍රමාණය හේතුවෙන් බොහෝ විට මෙරට විදුලි ඉල්ලුම ඉහළම කාලය තුළ විදුලි සැපයුමට යම් ගැටලුවක් ඇති විය හැකි බවයි බලශක්ති විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් සෙනසුරාදා සහ ඉරිදා යන සති අන්ත දිනයන්හි විදුලි ඉල්ලුමේ යම් අඩුවක් පැවතීම හේතුවෙන් මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වනු ඇති බවටද විදුලි බල මණ්ඩලය විශ්වාසය පළ කරනවා.

(Neth)